Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

වින්ඩෝස් හා ග්නූ/ලිනක්ස් අතර වෙනස්කම් (Windows Vs Linux)

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක සිට ග්නූ/ලිනුක්ස් මෙහෙයුම් පද්ධතියකට සංක්‍රමණය වීමේදී ග්නූ/ලිනුක්ස් ඉතා සංකීර්ණ හා භාවිතා කිරීමට අපහසු සේ දිස් වුවද එය එසේ නොවේ. මෙම ලිපිය ‍එම මෙහෙයුම් පද්ධති පිළිබඳ සංසන්දනාත්මක දැනුමක් ඔබ හට ලබා දීමේ අරමුණින් රචනා කරන ලද්දකි.

 



සාමාන්‍ය මිනිසකුගේ ජීවිත කාලය තුළ ඔහුට/ඇයට කොපමණ අවශ්‍යතා ඇති වේ ද? එම අවශ්‍යතා පිරිමසා ගැනීමට අවශ්‍ය සුදුසු ම දේ/භාණ්ඩ තෝරා ගැනීමේ දී අපි කොපමණ අපේ අභිමතිය භාවිතා කරමු ද? සාරියක් හෝ කමීසයක් මිළ දී ගැනීමට පෙර කොපමණ වරණයක් කරන්නෙමු ද?  එහෙත් ඔබ ගේ පරිගණකය සදහා මෙහෙයුම් පද්ධතියක් ‍මිළ දී ගන්නා අවස්ථාව ගැන සිතා බලන්න. එහිදී ඔබට අභිමත වූ මෙහෙයුම් පද්ධතියක් තෝරා ගැනීමේ අවස්ථාව ඔබට ලැබුණේ ද? පරිගණක මෙහෙයුම් පද්ධති වල විකාශයත් සමග වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ප‍රිගණක සදහා ඇති එකම මෙහෙයුම් පද්ධති විශේෂය ලෙස පරිගණක භාවිත කරන්නන්‍ ගේ සිත් තුළ පැලපදියම් වී ඇත. නමුත් ග්නූ/ලිනුක්ස් මෙහෙයුම් පද්ධති වල ක්‍රමික වර්ධනයත් සමගම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට තිබූ ඒකාධිපත්‍යය ගිලිහෙමින් පවතී. එහෙත් ඔබ සාමාන්‍ය පරිගණක පරිශීලකයෙකු පමණක් නම් ග්නූ/ලිනුක්ස් යනු කුමක් ද, වින්ඩෝස් යනු කුමක් ද, මෙහෙයුමි පද්ධතියක් යනු කුමක් ද පිළිබද ව ඔබට පැහැදිලි අදහසක් නොතිබීමට පුළුවන.



ඔබ පරිගණකයක් මිල දී ගත් පසු එය නිසියාකාරව ක්‍රියාකරවීම සදහා මෘදුකාංග අවශ්‍ය බව ඔබ හොදින් දන්නා කරුණකි. මේ අතරින් මෙහෙයුම් පද්ධතිය පරිගණකයට අත්‍යාවශ්‍යම මෘදුකාංගය යි. එ මගින් ඔබ හා පරිගණකයේ දෘඪාංග අතරත්, පරිගණකයේ අඩංගු වන අනෙකුත් මෘදුකාංග අතරත් සබදතාවය පවත්වා ගනී. මෙතෙක් කල් බොහෝ පරිගණක ‍භාවිතා කරන්නන් හිතනා පරිදි අප හට භාවිතා කළ හැකි එකම මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් නොවේ. ඇපල් සමාගම මගින් නිපදවන Mac OS X, Sun Microsystems OpenSolaris, Berkeley Software Distribution මගින් නිපදවනBerkeley Unix හා ග්නූ/ලිනුක්ස් ද ඉතා ඵලදායි හා කාර්යක්‍ෂම මෙහෙයුම් පද්ධති වේ.
සෑම මෙහෙයුම් පද්ධතියකටම කර්නලය නම් වූ ඉතා වැදගත් මධ්‍යස්ථ මෘදුකාංග කොටසක් ඇත. මෙ මගින් පරිගණකයේ දෘඪාංග සමඟ අන්ත‍ර් ක්‍රියා සිදු කිරීමත්, විවිධ මෘදුකාංග සදහා පදම ලෙස ක්‍රියා කිරීමත් සිදු වේ. ග්නූ/ලිනුක්ස් වල මෙම මැද කොට ලිනුක්ස් වන අතර ඒ සදහා විවිධ මෙවලම් සපයන ව්‍යාපෘතිය ග්නූ න‍ම් වේ. දැන් මෙහෙයුම් පද්ධති පිළිබඳ මූලික දැනුමක් ඔබ සතුව ඇති හෙයින්, වින්ඩෝස් හා ග්නූ/ලිනුක්ස් අතර වෙනස් කම් සලකා බලමු.

ඓතිහාසික වෙනස්කම්
1980 දශකයේ දී IBM සමාගම මඟින් මුල් ම පුද්ගල පරිගණක (PC) නිපදවද්දී ඒ සඳහා මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය මතු විය. මේ සඳහා Microsoft ආයතනය පෙළ (text) මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් වූ ඉක්මන් සහ මිලින මෙහෙයුම් පද්ධතිය (Quick and Dirty Operating System – QDOS) හෙවත් 86 – DOS මිල දී ගෙන, එය නැවත මයික්‍රෝසොෆ්ට් තැටි මෙහෙයුම් පද්ධතිය (Microsoft Disk Operating System – MS DOS) ලෙස වාණිජව නාමකරණය කොට ‍අලෙවි කිරීම ආරම්භ කළේ ය. පරිගණක භාවිත කරන්නන් MS DOS වල පෙළ (text) මත පදනම් වූ අතුරුමුහුණතට වඩා ඇපල් සමාගමේ Macintosh පරිගණක වල චිත්‍රක පරිශීලක අතුරුමුහුණතට (Graphical User Interface – GUI) ප්‍රිය කළ නිසා මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් නම් වූ චිත්‍රක පරිශීලක අතුරුමුහුණතක් MS DOS වලට සම්බන්ධ කළේ ය. වින්ඩෝස් වල ඇරඹුම මෙය විය. නමුත් මෙම මෙහෙයුමි පද්ධතිය එතරම් ස්ථායි නොවූ අතර බොහෝ අවස්ථාවල දී බිඳ වැටීම් වලට ලක් වූයේ ය. මෙයට හේතු වූයේ MS DOS යනු එක් විටෙක එක් ක්‍රියාවලියක් පමණක් සිදු කළ හැකි මෙහෙයුම් පද්ධතියක් වූ අතර, වින්ඩෝස් මඟින් ඒ හරහා බොහෝ ක්‍රියාවලි එකවර සිදු කිරීමට උත්සාහ කිරීමයි. තවද වින්ඩෝස් හා සමඟ ක්‍රියා කළ සියලු මෙවලම් එකම පරිගණක මතක ඉඩ ප්‍රමාණයක ක්‍රියාත්මක වීමත්, ඒ නිසා එක් මෙවලමක් ක්‍රියා විරහිත වූ වහාම මුළු පද්ධතියම ක්‍රියා විරහිත වීමත් සිදුවිය.
මෙම ගැටලුව විසඳීම සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනය නව ව්‍යාපෘතියක් ආරමිභ කොට සම්පූර්ණයෙන් ම අලුත් Windows NT (NT = New Technology) නම් වූ මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දුන්නේ ය. මෙ සත්‍ය බහු-කාර්යය කර්නලයක් වූ අතර එක් එක් මෙවලම ඊට අදාළ වෙන් වූ ඉඩ ප්‍රමාණයක ක්‍රියා කළේ ය. පසුව පැමිණි සියලුම වින්ඩෝස් සංස්කරණ මෙම NT තාක්ෂණය මත පදනම් වී ඇත. වින්ඩෝස් 2000 NT වල 5වන සංස්කරණය ද, වින්ඩෝස් XP NT 5.1 සංස්කරණය ද, වින්ඩෝස් විස්ටා NT 6 සංස්කරණය ද භාවිතා කරයි.

ග්නූ/ලිනුක්ස් යනු එක්තරා ආකාරයකට ගත් කළ පරිගණක ඉංජිනේරුවන්ගේ අවශ්‍යතාවය නිසා ම නිර්මාණය වූ මෙහෙයුම් පද්ධතියකි. එය මෙවැනිම අවශ්‍යතාවයන් නිසා ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද යුනික්ස් (UNIX) සමඟ අනුකූල වේ. AT&T ආයතනයේ කෙන් තොම්ප්සන් හා ඩෙනිස් රිචී විසින් යුනික්ස් නිෂ්පාදනය කරන ලදී. මෙහි කර්නලය ඉතා ප්‍රබල වූ ද සරල වූ ද එකකි. එනමුදු යුනික්ස් වර්ධනය වී පරිණාමය වී ප්‍රමාණයෙන් විශාල වී තිබුණි. එම නිසා ඇන්ඩෘ ටනෙන්බවුම් නම් වු විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයා තම සිසුන්ට මෙහෙයුම් පද්ධති සැලසුම්කරණය ඉගැන්වීම සඳහා මිනික්ස් (Minix) නම් වු අවම අංග සහිත මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කළේ ය. ලිනස් ටෝර්වෝල්ඩ්ස් නම් වූ පරිගණක විද්‍යා සිසුවා ගේ අවශ්‍යතාවයන් ට මිනික්ස් නොගැලපුණු නිසා ඔහු ලිනුක්ස් නම් වු තමාගේ ම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කළේ ය. එසේ නමුදු ලිනුක්ස් හි ‍මූලික කේතය යුනික්ස් වල කේත පාදයම නොවේ, ලිනුක්ස් වලට ආවේණික වූ කේත පාදයක් ‍එයට ඇති අතර ‍ ලිනුක්ස්, යුනික්ස් හා සමඟ අනුරූප වේ (compatible). එය ස්ථායි, බහු කාර්ය, ආරක්ෂිත හා ජංගම දුරකථනයේ සිට සුපිරි පරිගණක ඇතුළු විශාල පද්ධති පරාසයක් සමඟ භාවිතා කළ හැකි වේ.
ග්නූ (මෙහි අර්ථය GNU is Not Unix වේ. මෙය සමාවර්තනීය කෙටි පදයක් වේ. එනම්, මෙහි G අකුරට අර්ථයක් නැත) යනු රිචඩ් ස්ටෝල්මන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියේ අරමුණ ‍වූයේ ගුණාත්මක බවින් ඉහළ, යුනික්ස් සමඟ ගැළපෙන (එහෙත් යුනික්ස් කේතය භාවිතා නොකරන), කිසිදු සීමා කිරීමකින් තොර මෘදුකාංග නිර්මාණය කිරීමයි. මෙම ව්‍යාපෘතිය බිහි වූයේ ස්ටෝල්මන් ඔහු භාවිතා කළ මෘදුකාංගයක තිබූ දෝෂයක් නිවැරදි කිරීමට උත්සාහ ගත් විට එහි මූලික කේතයට පිවිසීමට ඔහුට අවසර නොලැබීමයි. මෙවිට පරිශීලකයන් හා පරිගණක ක්‍රමලේඛකයන් ගේ නිදහස සීමා නොකරන මෘදුකාංග නිර්මාණය කිරීම‍ට ඔහු සිතී ය. එහි ප්‍රතිඵලයක් ලෙස ග්නූ බිහි විය.

දැන් අපි ග්නූ/ලිනුක්ස් හා වින්ඩෝස් අතර තාක්‍ෂණික වෙනස් කම් සලකා බලමු.

ගොනු පද්ධති
අප භාවිතා කරන සියලුම පරිගණක ගොනු මෙහෙයුම් පද්ධතිය මඟින් දෘඪ තැටි වැනි දිගුකාලීන මතක උපාංග තුළ ගබඩා කරනු ලබයි. මෙහිදී කුමන දත්ත කුමන ගොනුවට අයත් වේ ද යන වග දැන ගැනීමට ගොනු පිළියෙල කරන කිසියම් ක්‍රමවේදයක් අවශ්‍ය වේ. මේ සඳහා ගොනු පද්ධතියක් යොදා ගනී. ගොනු පද්ධතියක් යනු කිසියම් මෙහෙයුම් පද්ධතියක් විසින් පරිගණකයක ඇති ගොනු තැටියක පිළියෙළ කිරීමට, එම ගොනු සඳහා ඉඩ වෙන් කිරීමට, හා දත්ත ගබඩා තුළ එක් එක් ගොනුවේ පිහිටීම ලබා දීමට ‍නිමවා ඇති පද්ධතියකි.
මයික්‍රොසොෆ්ට් ආයතනය FAT (File Allocation Table – ගොනු වෙන් කිරීමේ වගුව) නම් ගොනු පද්ධතියක් භාවිතා කළ අතර මෙය පසුව FAT32 දක්වා සංවර්ධනය කරන ලදී. එය ඉතා ප්‍රාථමික විශේෂයේ ගොනු පද්ධතියක් වූ අතර සමහර මෘදුකාංග මඟින් FAT32 සහිත මෙහෙයුම් පද්ධතියක් අඩංගු පරිගණක සඳහා තැටි වලින් නිර්මාණය කිරීමට ඉඩ දුන් විශාල ම පංගුව (partition) 32GB තරම් කුඩා විය. (මෙහි දී පංගුවක් යනු කිසියම් නිශ්චිත උ‍පයෝගීතාවයක් සඳහා යොදාගන්නා අතථ්‍ය (virtual) දෘඪ තැටි කොටසකි). ඉන්පසු මයික්‍රොසොෆට් මඟින් NTFS නම් ගොනු පද්ධතියක් වින්ඩෝස් NT සඳහා හඳුන්වාදෙන ලදී. මෙය වඩා දියුණු ගොනු පද්ධතියක් වූ අතර 16 Exa Bite තරම් වු පංගු සෑදීමේ අවස්ථාව, වෙනස් වූ පරිශීලකයන් සඳහා වෙන් වූ පංගු සෑදීමේ අවස්ථාව, හා ගොනු සංකේතනය (encrypt) කිරීමේ හැකියාව යනාදී බොහෝ නව අංග ලබා දුනි. වර්තමානයේදී වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල භාවිතා වනුයේ NTFS ය.
ග්නූ/ලිනුක්ස් පද්ධති වල භාවිතා කළ හැකි ගොනු පද්ධති බොහෝ ඇති අතර සාමාන්‍යයෙන් භාවිතා වනුයේ ext3 හෙවත් දීර්ඝ කළ ගොනු පද්ධති 3වන වෙළුමයි (extended filesystem 3). මෙ මඟින් 32 Ttera Bite දක්වා විශාල වූ පංගු සෑදීමේ අවස්ථාව සලසා දේ. ඊටත් වඩා විශාල පංගු සෑදීමට අවශ්‍ය නම් 8 Exa Bite දක්වා වූ පංගු සෑදීමේ අවස්ථාව ලබා දෙන XFS ගොනු පද්ධතිය භාවිතා කළ හැක. Ext3 වල ඊළඟ වෙළුම වන ext4හි 1EB දක්වා වූ පංගු සෑදීමට ඉඩ සලසා ඇත. Ext3 මඟින් ගොනු ප්‍රවේශය සීමා කිරීම හා මුළු පංගුවම සංකේතනය කිරීමට ආධාර කරන අතර ග්නූ මෘදුකාංග භාවිතයෙන් තනි ගොනු වුව ද සංකේතනය කළ හැක.
ගොනු පද්ධතියක ඇති විශේෂ වාසියක් නම් ජර්නල්ගත කිරීමේ හැකියාවයි. ජ’නලයක් පවත්වාගෙන යනු ලබන ගොනු පද්ධතියක් ලිවිය යුතු දත්ත පිළිබඳ විස්තර හා එක් එක් දත්ත ලියවිය යුතු ස්ථානය පිළබඳ තොරතුරු ගබඩා කොට තබා ගනී. මෙ මඟින් මෙහෙයුම් පද්ධති බිඳ වැටීමක දී පද්ධතිය නැවත යථා තත්වයට පත් කිරීමට උපකාර වේ. NTFS හා ext3 යන ‍ගොනු පද්ධති 2හි ම ජ’නලගත වීම සිදු වේ.
ප්‍රතිඛණ්ඩනය (defragmentation) ද වැදගත් අංගයකි. ගොනු මතකයට එක් කිරීමේ දී කියවීමේ හා ගබඩා කිරීමේ පහසුව සඳහා කුඩා කොටස් වලට ඛණ්ඩනය (fragmentation) කොට ගබඩා කරනු ලබයි. ප්‍රතිඛණඩක උපයෝගීතාවයක් (defragmentation utility) මඟින් මෙසේ ඛණ්ඩනය කරනු ලැබූ ගොනු කැබලි දෘඪ තැ‍ටියේ එක ළඟ ප්‍රදේශ වලට රැස් කර ඒවාට ප්‍රවේශ වීම පහසු කරයි. වින්ඩෝස් වල සීමාසහිත ප්‍රතිඛණ්ඩක උපයෝගිතා මෘදුකාංගයක් ඇත. ග්නූ/ලිනුක්ස් වල සත්‍ය ප්‍රතිඛණ්ඩක මෘදුකාංගයක් නොමැති වුවද ext3 වල NTFS වල තරම් ගොනු ඛණ්ඩනය වීමට අවස්ථාවක් ලබා නොදේ. මෙම නිසා ග්නූ/ලිනුක්ස් වලට ප්‍රතිඛණ්ඩක උපයෝගිතා මෘදුකාංගයක් අවශ්‍ය නොවේ. XFS වල කිසිදු ඛණ්ඩනයක් සිදු නොවන අතර එම නිසා එයට ප්‍රතිඛණඩක උපයෝගතාවයක් අවශ්‍ය නොවේ. පොදුවේ ගත් කළ ඛණ්ඩනය නිසා වින්ඩෝස් වල ඇති වන මන්දගාමී ස්වභාවය ග්නූ/ලිනුක්ස් වල කිසිදා ඇති නොවේ.
ග්නූ/ලිනුක්ස් ඕනෑම වින්ඩෝස් ගොනු පද්ධතියක් සමඟ අනුකූල වන අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධති කිසිදු ග්නූ/ලිනුක්ස් ගොනු පද්ධති කිසිවක් සමඟ අනුකූල නො‍වේ.
වින්ඩෝස් වල පරිගණකයට සබැඳි එක් එක් ගබඩා මෙවලම සඳහා එයට ම වෙන් වූ මෘදුකාංග ධාවකයක් (drive) ලබාි දෙන අතර ග්නූ/ලිනුක්ස් වල දී මෙම මෙවලම් වලට එහි root ඩිරෙක්ටරිය ඔස්සේ පිවිසිය යුතු ය. මෙය නැංවුම (mounting) නමි. NTFS වල ද ධාවක නැංවීමේ හැකියාව තිබුණ ද එය මූලික ලෙස භාවිතා නොවේ

ක්‍රියා කරවිය හැකි ගොනු විශේෂ
එක් එක් මෙහෙයුම් පද්ධතියක් මත ස්ථාපනය කොට ඇති මෘදුකාංග (programs) ක්‍රියා ක‍රවීමට විශේෂ වූ ගොනු විශේෂයක් ලෙස එම මෘදුකාංග ගබඩා කළ යුතු ය. වින්ඩෝස් හි දී සියලු මෘදුකාංග ‘ක්‍රියා කරවිය හැකි’ (executable – .exe) ගොනු ලෙස භාවිතා කරයි.
වින්ඩෝස් හා ග්නූ/ලිනුක්ස් වල ක්‍රියා කරවිය හැකි ගොනු විශේෂ එකිනෙක අනුකූල නොවේ. එක් මෙහෙයුම් පද්ධතියක් අනෙකෙහි ක්‍රියා කරවිය හැකි ගොනු ක්‍රියා නොකරවයි.‍ මේ හේතුවෙන් වින්ඩෝස් භාවිතා කරන ’ක්‍රියා කරවිය හැකි’ ගොනු විශේෂය ලෙස පැමිණ ක්‍රියාත්මක වන වයිරස, වර්ම් ආදී හානිකර මෘදුකාංග කිසිවක් ග්නූ/ලිනුක්ස් මත ක්‍රියා නොකරයි. වයිරසයක් මඟින් ආසාදනය වූ වින්ඩෝස් ගොනුවක් ග්නූ/ලිනුක්ස් වලින් විවෘත කළ ද එම වයිරසය වින්ඩෝස් මත පමණක් ක්‍රියා කරවිය හැකි ගොනු විශේෂයකින් තනා ඇති නිසා එම වයිරසය කිසිදා ග්නූ/ලිනුක්ස් මත ක්‍රියාත්මක නොවේ. මෙ මඟින් අදහස් වනුයේ ග්නූ/ලිනුක්ස් සඳහා හානිකර ක්‍රමලේඛ ලිවිය නොහැකි බව නොවේ. ග්නූ/ලිනුක්ස් වල ඇති වඩා දියුණු ආරක්ෂක ක්‍රමවේද නිසා ද, කිසිවෙකුට එවැනි දෙයක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා ද, ග්නූ/ලිනුක්ස් සඳහා පරිගණක වයිරස නැත. වින්ඩෝස් හා යුනික්ස් මෘදුකාංග සඳහා අනුකූලතාවය සපයන අංග ග්නූ/ලිනුක්ස් සඳහා නිමවා ඇති අතර මේවා භාවිතයෙන් ග්නූ/ලිනුක්ස් මත වින්ඩෝස් මෘදුකාංග ක්‍රියා කරවිය හැක.

පරිශීලක අතුරුමුහුණත් (User Interfaces)
පරිගණකයක් එහි පරිශීලකයන්ට ඒ හා සමඟ අන්තර්ක්‍රියා කිරීම සඳහා ඉදිරිපත් කරන අතුරුමුහුණත ‘පරිශීලක අතුරුමුහුණත’ නම් වේ. වර්තමාන පරිගණක වල අතුරුමුහුණත් වර්ග 2ක් ඇත, එනම් චිත්‍රක (graphical) හා පෙළ (text) මත පදනම් වූ අතුරුමුහුණත් වේ. පෙළ අතුරුමුහුණත වඩා වේගවත් වුව ද එයට තිරය මත ඇති පික්සල වෙන වෙන ම පාලනය කළ නොහැකි නිසා පින්තූර මගින් තොරතුරු ඉදිරිපත් කළ නොහැක.
වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා චිත්‍රක පරිශීලක අතුරුමුහුණතක් (Graphical User Interface) ඇත. මෙ‍ම අතුරුමුහුණත මෙහෙයුම් පද්ධතියට ඉතා තදින් බඳවා ඇති අතර එය ඉවත් කිරීම හෝ එහි ක්‍රියාකාරිත්වය නවතා දැමීම ඉතා අපහසු වේ. ග්නූ/ලිනුක්ස් වල මූලික අතුරුමුහුණත පෙළ මත පදනමි වූවක් වන අතර ඊ‍ට අමතරව භාවිතා කළ හැකි චිත්‍රක අතුරුමුහුණතක් ද ඇත. නමුත් මෙ‍ම චිත්‍රක අතුරුමුහුණත වින්ඩෝස් වල චිත්‍රක අතුරුමුහුණත මෙන් මෙහෙයුම් පද්ධතිය අභ්‍යන්තරයේ පවතින එකක් නොවේ, එය වෙනත් ඕනෑම මෘදුකාංගයක් මෙන් මෙහෙයුම් පද්ධතිය මත ස්ථාපනය කරන ලද්දකි. මේ හේතුවෙන් ග්නූ/ලිනුක්ස් හා යුනික්ස් සමඟ භාවිතය සඳහා බොහෝ විශේෂිත වූ චිත්‍රක අතුරුමුහුණත ගණනාවක් බිහි වී ඇත. ග්නූ/ලිනුක්ස් වල පාදක මට්ටමේ දී X කවුළු පද්ධතිය (X Window System) නම් වූ සේවාදායක මෘදුකාංගයක් ඇත. මෙමඟින් චිත්‍රක අවස්ථාවේ දී ඒ මත චිත්‍රක පරිශීලක අතුරුමුහුණතක් මඟින් ඇඳීමේ අවස්ථාව ලබා දේ. චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් මෘදුකාංග එකක් හෝ වැඩි ප්‍රමාණයක් ස්ථාපනය කරනුයේ X කවුළු පද්ධතිය මත ය. ලිනුක්ස් සමඟ වර්තමානයේ දී භාවිතා වන ප්‍රධාන චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් 2 නම් ග්නූ ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කර ඇති ජීනෝම් (GNOME – GNU Network Object Model Environment) හා KDE (K Desktop Environment) වේ. මෙම අතුරුමුහුණත් මඟින් වින්ඩෝස් වල අතුරුමුහුණතෙහි ඇති සියලු පහසුකම් වලට අමතරව අතිරේක විශේෂ අංග රාශියක් සපයයි (උදා: සත්‍ය තේමා – true themes, බහු අතථ්‍ය වැඩතල – multiple virtual desktops).
වින්ඩෝස් වල පෙළ අතුරුමුහුණතෙහි අප හොඳින් දන්නා විධාන ප්‍රේරකය (command prompt) ඇත. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුළ මෙම ප්‍රේරකයට වැඩි බලතල නැත. එනමුදු ග්නූ/ලිනුක්ස් හි ඇති විධාන අන්තය (command terminal) මෙසේ දෙවෙනි පෙළ සාමාජිකයෙක් ලෙස පසුපසින් නො සිටී. එයට විශාල බලයක් ඇති අතර චිත්‍රක අතුරුමුහුණතට සමාන හා සමහර අවස්ථාවල දී එයින් ද ඔබ්බට ගිය ක්‍රියාවලි වල නිරත විය හැක. මීට අමතර ව විධාන අන්තය ට පරිගණක ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය සඳහා ඊට ම විශේෂිත වූ ක්‍රමලේඛන භාෂාවක් ද ඇත. ලිනුක්ස් වල චිත්‍රක පරිශීලක අතුරුමුහුණත මෙන් ම පෙළ අතුරුමුහුණතට ද බහු-ක්‍රියාවලි වල නිරත වීමේ හැකියාව ඇත.
ග්නූ/ලිනුක්ස් හා යුනික්ස් වල විධාන අන්තය දර්ශනය කරවන හා එහි ඇතුළත් කරන විධාන ක්‍රියාවට නංවන මෘදුකාංගය ක‍වචය (shell) නම් වේ. මෙම කවචය ද වෙන් වූ ක්‍රමලේඛයක් වන අතර පරිශීලකයාගේ අවශ්‍යතාවයන් ට සරිලන කවච එකක් හෝ වැඩි ප්‍රමාණයක් තෝරාගෙන ස්ථාපනය කරගැනීමේ අවස්ථාව ඇත. වින්ඩෝස් සඳහා ඇත්තේ එක් විධාන ප්‍රේරකයක් පමණි.
වින්ඩෝස් විස්‍ටා මෙහෙයුම් පද්ධතිය දියුණු දෘඪාංග හා සසම්භාවී ප්‍රවේශ මතකය (Random Access Memory – RAM) 1-2GB පමණ ඇති පරිගණක මත ත්‍රිමාන චිත්‍රක ලබා දෙන අතර මෙවැනිම වූ චිත්‍රක පෙන්වීමට ග්නූ/ලිනුක්ස් වලට අවශ්‍ය වනුයේ මතකය 256 – 512 MB පමණි.

මෘදුකාංග කළමනාකරණය
සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල මෘදුකාංග ස්ථාපනය කිරීමට අවශ්‍ය නම් එම මෘදුකාංගයට අදාළ ස්ථාපන තැටිය ලබා ගැනීම හෝ ස්ථාපන මෘදුකාංගය බාගත කිරීම සිදු කළ යුතුය. ඉන්පසු ඒ ආධාරයෙන් මෘදුකාංගය ස්ථාපනය කිරීමේ දී තේරීම් කිහිපයක් කළ යුතුය.
ග්නූ/ලිනුක්ස් වල මෘදුකාංග ලබා ගත හැක්කේ ‘ඇසුරුම්’ (packages) නම් වූ ගොනු කාණ්ඩ ලෙස හෝ මූල කේතය (source code) ලෙස ය. එහෙත් බොහෝ මෘදුකාංග ක්‍රියාකිරීම සඳහා ‘යැපුම්’ (dependencies) නම් වූ වෙනත් මෘදුකාංග මත රඳා පවතී. ඔබ කිසියම් මෘදුකාංගයක් හෝ එහි මූලික කේතය පමණක් බාගත කළ හොත් එ පමණකින් එම මෘදුකාංගයට අදාළ යැපුම් සියල්ල නො තිබීම නිසා නිසි ලෙස ස්ථාපනය නො වීමට ඉඩ ඇත. මේ හේතුවෙන් ග්නූ/ලිනුක්ස් පද්ධති වල අවශ්‍ය යැපුම් ද බාගත කිරීම සඳහා බාගත කිරීම් කළමනාකරණ මෘදුකාංගයක් සපයා ඇත. මෙමඟින් කිසියම් මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේ දී ඒ සඳහා අවශ්‍ය වන යැපුම් මෘදුකාංග අන්තර්ජාලයෙන් සොයා බාගත කර ගනී.
බැලූ බැල්මට නොපෙනුන ද වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල මෘදුකාංග ස්ථාපනය කිරීමේදී ද යැපුම් වැදගත් වේ. මෙම යැපුම් මෘදුකාංග අප ස්ථාපනය කරනු ලබන මෘදුකාංගය හා සමඟම ගොනු කර ඇත. මෙහි දී ඇති වන ගැටලුව වනුයේ කිසියම් යැපුම් මෘදුකාංගයක් ඔබගේ පරිගණකය මත දැනටමත් ස්ථාපනය කර ඇත්නම් එම මෘදුකාංගය අවශ්‍ය කිසියම් මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී නැවතත් යැපුම් මෘදුකාංගය ඔබ පරිගණකය මත ස්ථාපනය වීමයි. තවද ඔබගේ මෙහෙයුම් පද්ධතිය හා නොගැළපෙන යැපුම් මෘදුකාංග මෙසේ ස්ථාපනය වීමේ විශාල ගැටලු ඇති විය හැක. මෙවන් ගැටලු නිසා මයික්‍රෝසොෆ්ට් ආයතනය එවන් යැපුම් ස්ථාපනය වැළැක්වීම හෝ එකම යැපුම් මෘදුකාංගයේ වෙනස් වූ වෙළුම් එකම පරිගණකයේ පැවතීමට ඉඩකඩ ලබා දෙයි. මෙවිට පරිගණකයේ දෘඪ තැටි වල ඉඩ නාස්ති වීමක් සිදුවේ.
ග්නූ/ලිනුක්ස් වල මෘදුකාංග සඳහා ද විවිධ යැපුම් රාශියක් ඇති අතර කිසියම් මෘදුකාංගයක් සඳහා යැපුමක් අවශ්‍ය නම් එම යැපුම පරිගණකයේ දැනටමත් ස්ථාපනය කර තිබුණ ද එය නැවතත් ස්ථාපනය කිරීමට සිදුවීමේ ගැටලුව දක්නට ලැබේ.
මෙහි දී සේවා ඇසුරුම් (service packs) ගැන ද සඳහන් කළ යුතු ය. මයික්‍රෝසොෆ්ට් ආයතනය සාමාන්‍යයෙන් මෙහෙයුම් පද්ධති වල නව සංස්ක‍රණ සේවා ඇසුරුම් ලෙස එක වර ලබා ‍දේ. ග්නූ/ලිනුක්ස් වල සාමාන්‍යයෙන් මෙලෙස සේවා ඇසුරුම් ලබා දීමක් සිදු නොවේ.

දෘඪාංග සහාය
වින්ඩෝස් හා ග්නූ/ලිනුක්ස් යන මෙහෙයුම් පද්ධති වර්ග 2හි ම මූලික වශයෙන් භාවිතා වන ආම්පන්න ධාවක (device drivers) කිහිපයක් අන්තර්ගත කර ඇත. එනමුදු වින්ඩෝස් වල එසේ අන්තර්ගත වන ධාවක සංඛ්‍යාව සංසන්දනාත්මක ව ගත් කල ග්නූ/ලිනුක්ස් වලට වඩා බොහෝ සෙයින් අඩු ය.
කෙසේ වෙතත් නව දෘඪාංග මිල දී ගැනීමේ දී තමන්ගේ මෙහෙයුම් පද්ධතිය එම දෘඪාංගය හා ගැලපේ ද යන්න සොයා බැලීම වැදගත් ය. ඔබගේ පරිගණකය නවතම වුව ද වසර 2 ක් පැරැණි වුව ද වින්ඩෝස් XP හොඳින් ක්‍රියා කිරීම සඳහා එහි දෘඪාංග සඳහා අවශ්‍ය ධාවක එහි නැති වීම ට බොහෝ ඉඩකඩ ඇත. ග්නූ/ලිනුක්ස් බොහෝ පැරණි දෘඪාංග සමඟ වුව ද කිසිදු ගැටලුවක් නොමැති ව ක්‍රියා කරයි.

බෙදාහැරුම් වල වෙනස්කම්
වින්ඩෝස්, මයික්‍රොසො‍ෆ්ට් ආයතනය මඟින් නිෂ්පාදනය කෙරෙන අතර එහි සම්පූර්ණ අයිතිය එම සමාගම සතු වේ. එය පවතිනුයේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිර්මිත බෙදාහැරුම් ලෙස පමණි. වෙනත් කිසිවකුට වින්ඩෝස් වල කේතය වෙනස් කිරීම හෝ‍ බෙදා හැරීම නීතියෙන් තහනම් වේ.
ග්නූ/ලිනුක්ස් කාහටවත් අයිති නැත. ලොව වටා සිටින පරිගණක ක්‍රමලේඛකයන් එහි සංවර්ධනයට ස්වේච්ඡාවෙන් දායක වන අතර එය නිදහස් මෘදුකාංග ගණයට අයත් වන නිසා ඕනෑම අයෙකුට එහි කේතයට පිවිසීමට, එය භාවිතා කිරීමට, වෙනස් කිරීමට හා බෙදාහැරීමට සම්පූර්ණ නිදහස ඇත. ඔබ පරිශීලකයෙක් නම් ඔබ ලබා ගත් ලිනක්ස් සංගත තැටියක් ඔබේ මිත්‍රයන් ට ලබා දීමේ අයිතිය ද, ඔබ ක්‍රමලේඛකයෙකු නම් ඔබ භාවිතා කරන මෘදුකාංග ඔබේ අවශ්‍යතා වලට අනුව සකසා ගැනීමේ අයිතිය ද ඔබ සතු ය. තවද බොහෝ ග්නූ/ලිනුක්ස් මෘදුකාංග වලට බලපාන පොදු බලපත්‍රයට (General Public License – GPL) අනුව මෙවැනි ක්‍රියාකාරකම් සීමා කිරීමට උත්සාහ කිරීම නීතියෙන් තහනම් වේ. මෙ‍ම ක්‍රමවේදය නිසා විවෘත මූල මෘදුකාංග වල කේතයේ ඇති වැරදි නිවැරදි කිරීමට හා ඒවා සංවර්ධනය කිරීමට විවිධ දක්ෂතා සහිත විශාල පිරිසක් සැදී පැහැදී සිටිති. එහි ඵලයක් ලෙස ඉතා ටික කලෙකින් නිදහස් මෘදුකාංග වින්ඩෝස් වැනි හිමිකරු මෘදුකාංග වලට (proprietary software) වඩා විශාල සංවර්ධනයක් ලබනු ඇත.
ලොව වටා විවිධ සමාගම් මඟින් විවිධ ලිනක්ස් වෙළුම් ඉදිරිපත් කර ඇත. ඉන් සමහරක් නම්,

  • ඉයන් මර්ඩොක් හා පොදුජන සේවා මෘදුකාංග (Software in the Public Interest) සමාගම මඟින් නිපදවන ඩෙබියන් (Debian).
  • රෙඩ් හැ‍ට් (Red Hat) සමාගම මඟින් නිපදවන ෆෙඩෝරා (Fedora) හා රෙඩ් හැට් ව්‍යවසාය ලිනක්ස් (Red Hat Enterprise Linux).
  • මැන්ඩ්‍රීවා එස්. ඒ (Mandriva S. A.) සමාගම මඟින් නිපදවන මැන්ඩ්‍රීවා.
  • නොවෙල් (Novell Inc.) ආයතනය මඟින් නිපදවන ඕපන්සුසේ (OpenSUSE).
  • පැට්‍රික් වෝල්කර්ඩින් හා ස්ලැක්වෙයාර් ආයතනය (Slackware Inc) මඟින් නිපදවන ස්ලැක්වෙයාර්.
  • මාර්ක් ෂටල්වර්ත් හා සීමාසහිත කැනොනිකල් සමාගම (Canonical Ltd) මඟින් නිපදවන උබුන්ටු (Ubuntu).

 

මෙම විවිධ වෙළුම් හා අනුවාද වල විශේෂත්වය වනුයේ ඒවා සියල්ල මූලික ලිනක්ස් කර්නලය භාවිතා කිරීමයි. එකම වෙනස වනුයේ ඒවා භාවිතා කරනු ලබන මෘදුකාංග ඇසුරුම් හා ඒවායේ වර්ග පමණි.
ලිනක්ස් මෙහෙයුම් පද්ධති අඩංගු සංගත තැටි වල ඇති විශේෂත්වය නම් ඒවා සජීවී තැටි ලෙස භාවිතා කිරීමේ හැකියාව යි. එනම් එම සංගත තැටිය කිසියම් පරිගණකයකට ඇතුළු කළ විට එහි අඩංගු මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ පිළිඹිබුවක් (පරිශීලන අතුරුමුහුණත ද සමඟ) ලබා දීමයි. මෙහි දී පරිගණකයේ අඩංගු දත්ත හෝ මෘදුකාංග වල කිසිදු වෙනසක් නොකොට ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අත්හදා බැලීමේ හැකියාව ඔබට ලැබේ.
මේ අනුව ගත් කළ,
ග්නූ/ලිනුක්ස් වින්ඩෝස් වලට වඩා තාක්ෂණික අතින් වෙනස් වන අතර එය හිමිකරු මෘදුකාංග වලට හොඳ විකල්ප මෘදුකාංග කාණ්ඩයක් වේ. ග්නූ/ලිනුක්ස් යනු, සත්‍ය වශයෙන් ම කියතොත්, ඔබට ම අයිති වූ ඔබේ ම මෘදුකාංග යි.

 

 

මෙම ලිපිය 2008 අගෝස්තු මස පළ වූ Linux For You සඟරාව සඳහා සව්රව් සෙන්ගුප්තා විසින් රචනා කරන ලද්දකි. 
 
The following two tabs change content below.

Ramindu Deshapriya

Latest posts by Ramindu Deshapriya (see all)

Comments
  1. Prasad Duminda Karunarathne
    • Malin De Silva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.