Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

12.1 වෙළඳ ලෝකය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භූමිකාව (Role of ICT in The World of Business)

 අංකිත ආර්ථිකය (Digital Economy)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ක්‍රමික දියුණුවත් සමඟ ‘1’, ‘0’ කියන අංක දෙක, එහෙමත් නැත්නම් digital කියන සංකල්පය, අපේ එදිනෙදා ජීවිතයට විවිධාකාරයෙන් නව්‍යතා එක් කළා. එදිනෙදා මිනිස් ජීවිත විතරක් නෙමෙයි, ආර්ථිකය, සංස්කෘතිය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපනය වගේ විශාල සමාජයීය ව්‍යුහයනුත් මේ නිසා බලපෑමට ලක් උනා. අංකිත ආර්ථිකය කියන්නෙ ඒ වගේ පරිනාමිත සමාජ ව්‍යුහයක්.’ අංකිත ආර්ථිකය’ කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න කලින්, ‘ආර්ථිකය’ කියන වචනය අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍යයි. රටක ආර්ථික පද්ධතිය ප්‍රධාන අංග කීපයකින් සමන්විතයි. නිෂ්පාදනය, බෙදා හැරීම, කර්මාන්ත, පාරිභෝජනය, භාණ්ඩ හා සේවා එම අංග වලට අයත්. එහෙමනම් අංකිත ආර්ථිකය කියන්නෙ අංකිත තාක්ෂණයත් සමග පරිනාමණය වූ ඉහත අංග කීපයයි.

 

අංකිත ආර්ථිකය (Digital Economy) – නිර්වචනය

අංකිත ආර්ථිකය යනු අංකිත තාක්ෂණයන් (digital technologies) මත පදනම් වූ ආර්ථිකයයි.

තව දුරටත් විස්තර සහිතව අර්ථ කතනය කලොත්, අංකිත ආර්ථිකය යනු ලොව පුරා ව්‍යාප්ත ආර්ථික හා සමාජයීය ක්‍රියාකාරකම් ජාලයක් ලෙස හැඳින්විය හැකියි. රටකට හෝ කලාපයකට සීමා වූ ආර්ථික පද්ධතියකට ලෝකය සමග අනුබද්ධ වීමට අන්තර්ජාලය, ජංගම සහ සංවේදක ජාල (mobile and sensor networks) වැනි තාක්ෂණයන් උපකාර වෙනව. අන්තර්ජාල ආර්ථිකය (Internet Economy), නව ආර්ථිකය (New Economy) වගේ යෙදුම් භාවිත වෙන්නෙත් අංකිත ආර්ථිකය සඳහායි. මෙම නව ආර්ථිකයේදී, විවිධාකාර අංකිත සංනිවේදන ජාලයන් ( networks), ලොව පුරා ව්‍යප්ත වූ මිනිසුන්ට හා ආයතන වලට තොරතුරු හුවමාරු කර ගන්න, සහයෝගයෙන් කටයුතු කරන්න අවකාශය සලසනව.

අංකිත තාක්ෂණයන්ගේ ආධාරයෙන් කරන ආර්ථික කටයුතු රටක සංවර්ධනය සඳහා ප්‍රබල ලෙස බලපාන්න පුලුවන්. අංකිත ආර්ථික පද්ධතියක් මූලික කොටස් 3 කින් සමන්විත වෙනව.
1. අවශ්‍ය යටිතල පහසුකම්
2. අංකිත තාක්ෂණයන් ආධාරයෙන් ව්‍යාපාර වල අභ්‍යන්තර කටයුතු පවත්වාගෙන යන ආකාරය
3. අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීම
භාන්ඩ හා සේවා පාරිභෝගිකයන්ට විකුණන්න විතරක් නෙමෙයි, ව්‍යාපාර වල අභ්‍යන්තර ක්‍රියාවලි විධිමත් හා පහසු කර ගන්නත් අපිට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගන්න පුලුවන්. රටක් කොයි තරම් කාර්යක්ෂම විධියට මේ නවීන තාක්ෂණය ඉහත ක්‍රියාකාරකම් වලට යොදා ගන්නවද කියන එක මත තමයි, අංකිත ආර්ථිකය රටේ සංවර්ධනයට ලබා දෙන දායකත්වය තීරණය වෙන්නෙ.
දැන් අපි බලමු අංකිත ආර්ථිකයත් සමඟ අපිට හඳුනා ගන්න ලැබෙන නව වාණිජ්‍ය ක්‍රම කීපයක්.
අංකිත ආර්ථිකයේ නව වාණිජ්‍ය ක්‍රම
1. ප්‍රති වෙන්දේසි කිරීම (Reverse Auctioning)
අපි හැමෝම දන්නව සාමාන්‍ය වෙන්දේසියකදී යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් අත්පත් කර ගැනීම සඳහා ගැනුම් කරුවන් කීප දෙනෙක් තරඟ කරන බව. මෙහිදී ඔවුන් ක්‍රමක්‍රමයෙන් වැඩි වන මිල අගයන් ඉදිරිපත් කරනව. වැඩිම මිල ඉදිරිපත් කරන තරඟකරුට තමයි භාණ්ඩය හෝ සේවාව අයිති වෙන්නෙ.
ප්‍රති වෙන්දේසියකදි සිදු වෙන්නෙ ගැනුම්කරුගේ හා විකිණුම්කරුගේ භූමිකාව හුවමාරු වීමක්.
මෙහිදී විකිණුම්කරුවන් කීප දෙනෙක් කිසියම් ගැනුම්කරුවෙක්ට තමන්ගේ භාණ්ඩ හෝ සේවා අලෙවි කර ගැනීම සඳහා තරඟ කරනව. මෙම තරඟයේදී ඔවුන් ක්‍රමිකව තමන් ඉදිරිපත් කරන මිල අඩු කරනව. අඩුම මිල ඉදිරිපත් කරන විකිණුම්කරුගෙන් තමයි අවසානයේ ගැනුම්කරු භාණ්ඩය හෝ සේවාව මිලදී ගන්නේ.
‘ප්‍රති වෙන්දේසි කිරීම’ කියන්නෙ අන්තර්ජාලයේ සම්භවය සමඟ හටගත් සංකල්පයක්. අංකිත ආර්ථිකයේදී හැමවිටම ප්‍රමුඛතාව හිමිවෙන්නේ ගැනුම්කරුට එහෙමත් නැත්නම් පාරිභෝගිකයාට. ප්‍රති වෙන්දේසිය වැනි සංකල්පයක් බිහිවීම මෙය මනාව ඔප්පුකරනව. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන්ගේ දියුණුවත් සමඟ පාරිභෝගිකයෙක්ට තමන්ට අවශ්‍ය භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම සඳහා සැපයුම්කරුවෙක් සොයා ගැනීම ඉතාමත් පහසු කාර්යයක්. ඒ නිසා සැපයුම්කරුවන් පාරිභෝගිකයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා තරඟ කරනව.බොහෝ විට ආයතන තමන්ගේ අභ්‍යන්තර ක්‍රියාවලීන් වෙනත් සැපයුම්කරුවන් ලවා ප්‍රතිසම්පාදනය කරවා ගැනීමේදී (business process outsourcing) මෙම ක්‍රමය භාවිතා වෙනව.
2. කණ්ඩායම් ලෙස මිලදී ගැනීම (Group Purchasing)
මෙය පාරිභෝගිකයාගේ බලය වැඩි කිරීම සඳහා අංකිත ආර්ථිකය මගින් හඳුන්වාදෙන තවත් නව වාණිජ්‍ය ක්‍රමයක්. මෙම ක්‍රමයේදී පුද්ගලයින් හෝ ව්‍යපාර ආයතන කීපයක් එකතුව කණ්ඩායමක් ලෙස සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම සිදු කරනව. මෙහිදී කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ගේ මිලදී ගැනීමේ බලය (buying power) එක් ‍රැස් වන නිසා ඔවුන් සියලු දෙනාටම සැපයුම්කරු විසින් ලබාදෙන වට්ටම් හා අඩු මිල අත් විඳීමේ හැකියාව ලැබෙනව. කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් එකතුව මහා පරිමාණ ව්‍යාපාරිකයින් හා තරඟ කිරීම සඳහා මෙම උපක්‍රමය භාවිතා කරනව.
3.ඊ වෙළඳ පොළ (e- Market Place)
ඊ වෙළඳ පොළක් කියල හඳුන්වන්නෙ සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් සම්බන්ධ කිරීම සඳහා අන්තර්ජාලයේ තියෙන අවකාශයක් (Internet Location). සාමන්‍ය වෙළඳ පොළක වගේ භෞතික පිහිටීමක් (Physical Location) අපිට ඊ වෙළඳ පොළක හඳුනා ගන්න බැහැ. නමුත් සාමාන්‍ය වෙළඳ පොළක සිදුවන සියලුම ක්‍රියාකාරකම් ඊ වෙළඳ පොළක වඩාත් කාර්යක්ෂමව සිදු වෙනව.
Comments
  1. Buddhika Karunanayaka
  2. Shan
  3. hasiv

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.