Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

12.2 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ව්‍යාපාරික මෙහෙයුම් අතර ඇති සම්බන්ධතාව (Relationship Between ICT and Business Operations)

 
මීට ඉහත පාඩමේදි අප විසින් කතා කරනු ලැබුවේ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ආගමනයත් සමඟ නූතන ව්‍යාපාරික ලෝකයේ සිදුවූ වෙනස්කම් කීපයක්. මෙම පරිච්ඡේදය හරහා නවීන තාක්ෂණයත් සමඟ ව්‍යාපාරික මෙහෙයුම් (business operations) වල දැක ගන්නට ලැබෙන නව්‍යතා කීපයක් වඩාත් සවිස්තරව සාකච්ඡා කෙරෙනු ලැබේ.
 
 

 

 

 

ඊ වාණිජ්‍ය (e – Commerce) සහ ඊ ව්‍යාපාර (e – Business) ලෙස හඳුන්වන්නේ digital තාක්ෂණයන් සහ ව්‍යාපාර ලෝකය අතර ඇති වූ සහජීවනයත් එක්ක අපි අතරට එක් වුන, වර්තමානයේ සුලබව භාවිතා වන වචන (buzzwords) දෙකක්. මේ සංකල්ප දෙක නිවැරදිව අර්ථ දක්වන්නේ කෙසේද, එකිනෙක සමඟ සම්බන්ධ වන්නෙ කෙසේද, ඒ වගේම එකිනෙකින් වෙනස් වන්නෙ කෙසේද යන්න දැන් අපි විස්තර සහිතව කතා කරමු.
 
 
 
 
 

ඊ ව්‍යාපාර (e – Business)

ඊ-ව්‍යාපාරයක් යනු සාම්ප්‍රදායික ව්‍යාපාරයක සියළුම ක්‍රියාකාරකම් සාර්ථක කර ගැනීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ යෙදවීමයි.
ඉහත රූපයේ දිස් වෙන ආකාරයට ඊ-වාණිජ්‍යයට සාපේක්ෂව ඉතා විශාල විශය පථයක් ඊ-ව්‍යාපාර හරහා ආවරණය වනු ලැබේ. ඉහත අර්ථ දැක්වීමේ සඳහන් කළ ආකාරයට ඊ-ව්‍යාපාර හරහා ව්‍යාපාරයක අත්‍යාවශ්‍ය අංග සියල්ල ආවරණය විය යුතුයි. ඊ-වාණිජ්‍ය යනු මෙම ක්‍රියාකාරකම් වලින් එකක්. මෙම යෙදුම මුලින්ම කරළියට ගෙන එනු ලැබුවේ IBM ආයතනයේ අළෙවිකරණ හා අන්තර්ජාල අංශය විසින්.ඊ-ව්‍යාපාර මඟින් ආයතනයකට පහත සඳහන් පහසුකම් ලබා දෙනු ලැබේ.
  • ව්‍යාපාරයේ අභ්‍යන්තර හා බාහිර දත්ත සැකසුම් පද්ධති එකට සම්බන්ධ කිරීම
  • සැපයුම්කරුවන් හා කොටස්කරුවන් සමඟ වඩාත් සමීපව වැඩ කටයුතු කිරීම
  • පාරිභෝගික අවශ්‍යතා වඩාත් සාර්ථකව තෘප්තිමත් කිරීම
ඊ-ව්‍යාපාර ක්‍රමෝපායන් හරහා ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය හා බාහිර පරිසරය සමායෝජනය කරන නිසා එහි කාර්යක්ෂම පැවැත්ම සඳහා අභ්‍යන්තර සංනිවේදන ජාල (intranets), බාහිර සංනිවේදන ජාල (extranets), වගේම අන්තර්ජාලයත් (the Internet) අවශ්‍යයි. ඊ-ව්‍යාපාර හරහා ආවරණය වන ක්‍රියාවලි ප්‍රධාන කොටස් 3 කට බෙදිය හැකියි.
 
1. ව්‍යාපාරයේ අභ්‍යන්තර ක්‍රියාවලි (internal business processes)
  • පාරිභෝගික සම්බන්ධතා කළමණාකරණය (Customer Relationship Management)
  • සම්පත් සැළසුම් කිරීම  (Enterprise Resource Planning)
  • ලිපි ලේඛන කළමණාකරණය (Document Management)
  • මානව සම්පත් කළමණාකරණය  (Human Resource Management)
2. ව්‍යාපාර සංනිවේදනය හා සහයෝගිතාව (enterprise communication and collaboration)
 
3. ඊ වාණිජ්‍ය (e – Commerce)
 

ඊ වාණිජ්‍ය (e – Commerce)

ඊ-වාණිජ්‍ය ලෙස හඳුන්වන්නේ ඊ-ව්‍යාපාර වල උප කුලකයක්. ඊ-ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය අංග වලින් කොටසක් ඊ-වාණිජ්‍යයට අයත්. සරලවම අපිට ඊ-වාණිජ්‍ය මේ විදියට අර්ථ දක්වන්න පුලුවන්.
ඊ-වාණිජ්‍ය යනු අන්තර්ජාලය හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ජාලයක් හරහා සිදුවන භාණ්ඩ හා සේවා විකිණීම හෝ මිලදී ගැනීමයි.
ඊ-වාණිජ්‍ය සැලකෙන්නේ ඊ-ව්‍යාපාරයේ විකිණුම් අංශය (sales aspect) ලෙසයි. මෙය ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ සාර්ථක මෙන්ම කාර්යක්ෂම ක්‍රමයක්. ඊ-වාණිජ්‍ය පහත සඳහන් අංග වලින් සමන්විතයි:

 

  • වෙබ් අඩවි වල ප්‍රදර්ශණය කළ භාණ්ඩ නාමාවලි (online catalogs) වලින් සමන්විත අථත්‍ය වෙළඳ සැල් (virtual storefronts)
  • වෙබ් අඩවි හරහා සිදු වන භාණ්ඩ හා සේවා විකිණීම හා මිලදී ගැනීම
  • සමාජ මාධ්‍ය හා සංනිවේදනය (social media and web contacts) හරහා සිදුවන ජනවිකාස දත්ත (demographic data) එකතු කිරීම සහ පරිහරණය
  • ඉලෙක්ට්‍රොනික දත්ත අතුරුමාරුව (Electronic Data Interchange)
  • ගණුදෙනු වල සුරක්ෂිත භාවය තහවුරු කිරීම

 

ඊ-ව්‍යාපාරික ගණුදෙනු වර්ග

  • ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට (B2B)

මෙයින් අදහස් වන්නේ ව්‍යාපාර අතර සිදුවන නොයෙක් ආකාරයේ ගණුදෙනුයි. උදාහරණ වශයෙන් නිෂ්පාදකයා සහ තොග වෙළෙන්දා අතර සිදුවන ගණුදෙනුද, තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා අතර සිදුවන ගණුදෙනු දැක්විය හැකියි. මෙම ව්‍යාපාර වල සමස්ථ ගණුදෙනුවේ ප්‍රමාණය (volume) අනෙක් ව්‍යාපාර වලට සාපේක්ෂව වැඩියි.
  • ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට (B2C)

මෙම වර්ගයේ ව්‍යාපාර හරහා සිදු වන්නේ සෘජුවම ව්‍යාපාරය හා පාරිභෝගිකයා සම්භන්ධ කිරීමයි. එහිදී ව්‍යාපාරය මඟින් පාරිභෝගිකයාට භාණ්ඩ හා සේවා අලෙවි කිරීම සිදුවේ.
  • පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට (C2C)

මෙයින් අදහස් වන්නේ තුන්වන පාර්ශවයක් මඟින් පාරිභෝගිකයින් අතර ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීමයි. උදාහරණයක් ලෙස අන්තර්ජාලය හරහා සිදුවන මාර්ගගත වෙන්දේසි (online auctions) දැක්විය හැකියි. මෙහිදී පාරිභෝගිකයින් සම්බන්ධ කරනු ලබන්නේ බොහෝ විට අතරමැදි වෙබ් අඩවියක් හරහායි.
  • පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරයට (C2B)

මෙහිදී පාරිභෝගිකයා විසින් ව්‍යාපාරය සඳහා වටිනාකමක් නිර්මාණය කරන අතර ව්‍යාපාරය මඟින් එම වටිනාකම පාරිභෝජනය කරනු ලබයි. ප්‍රති වෙන්දේසිය (reverse auction) මෙම වර්ගයේ ව්‍යාපාර සඳහා උදාහරණයකි.
දැන් අපි ඊ-ව්‍යාපාර හා සම්බන්ධ යෙදුම් කීපයක් වඩාත් විස්තර සහිතව සලකා බලමු.

 

අථත්‍ය වෙළඳ සැල් (virtual storefronts)

 
තම පරිගණක තිරය හරහා වෙළඳ භාණ්ඩ නිරීක්ෂණය කර ඒවා ඇණවුම් කිරීමට පාරිභෝගිකයින්ට ඉඩ සලසන ඉලෙක්ට්‍රොනික අවකාශයක් මෙයින් අදහස් වේ. මෙවැනි අතත්‍ය වෙළඳ සැල් මඟින් පාරිභෝගිකයාට භාණ්ඩ වල විස්තර කියවා දැන ගැනීමට මෙන්ම තම පරිගණකය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දෙයි.
 

තොරතුරු තැ‍රැව්කරුවන් (Information Brokers) 

 
මොවුන් තම සේවාදායකයන් සඳහා තොරතුරු පර්යේෂණ සිදු කරන ස්වාධීන තොරතුරු වෘත්තිකයින් (independent information professionals) වේ. මොවුන් බොහෝ විට වෙළඳ පොළ පර්යේෂණ (market research), පේටන්ට් බලපත්‍ර පරීක්ෂා (patent search) කිරීම ආදිය සිදු කරනු ලබයි.

ද්වාර (Portals)

 
ද්වාරයක් යනු නානාප්‍රකාර ප්‍රභව වලින් තොරතුරු එක් ‍රැස් කර ඒකාකාර රාමුවක් තුළ ප්‍රදර්ශණය කරන  වෙබ් පි‍ටුවකි. මෙම වෙබ් පි‍ටුව තුළ එක් එක් තොරතුරු ප්‍රභවයට තම තොරතුරු ප්‍රදර්ශණය කිරීම සඳහා තමන්ටම  වෙන්වූ ඉඩක් ලැබේ.
 
 
Comments
  1. sandya Fernando
    • Sarathi
  2. Shan
  3. Manoj Priyanjana Dayasri
  4. hasiv
  5. kesh
  6. Hashi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.