Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

11.4 ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය ( Structured System Analysis and Design Methodology )

Structured System Analysis and Design Methodology

Structured System Analysis and Design Methodology

11.4  පාඩම් මාලාවෙන් ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය ( Structured System Analysis and Design Methodology ) නොඑසේනම් කෙටියෙන් SSADM පිළිබඳව හඳුනාගැනීමටයි මේ පිවිසුම…

ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය යන්න සැලකීමේදී ප්‍රථමයෙන්ම ඔබ  වටහාගතයුතු වන්නේ තොරතුරු පද්ධතියක් (information system)  යනු කුමක්ද යන්න පිලිබදවයි. තොරතුරු පද්ධතියක් යනු විසිරී පවතින තොරතුරු ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් සලසුම්සහගතව ගොනුකර පරිශීලකයා වෙත සේවා සැපයීම සදහා විවිධ  ආකාරයෙන් එම තොරතුරු නැවත ගොඩනගනු ලබන, මිනිසා සහ විවිධ පරිගණක උපාංග වලින් සමන්විත වූ පද්ධතියකි. ඉතාම සරලව සලකා බැලුවහොත් ඔබ නිරන්තරයෙන් ක්ෂණිකව මුදල් ලබාගැනීමට භාවිත කරනු ලබන ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රයේ(ATM) සිට අභ්‍යවකාශ යානා , භූගෝලීය තොරතුරු පද්ධති ( Geographical  Information Systems – GIS ) වැනි ඉතා සංකීර්ණ නිමැවුම් දක්වා සියල්ලම ඉතා සංකීර්ණ තොරතුරු පද්ධති වලින් සමන්විත නිමවුම් ලෙස හැදින්විය හැකිය.

මෙවැනි සංකීර්ණ තොරතුරු පද්ධති ගොඩනැගීම සදහා නිත්‍යවශයෙන්ම ඊට ගැලපෙන නිසි ක්‍රමවේදයක් තිබිය යුතුය. එය විශාල ගොඩනැගිල්ලක් සෑදීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කලයුතු වීම හා සමාන වේ. මන්දයත් එසේ නොමැති වුවහොත් ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරවන්නා සේම තොරතුරු පද්ධතිය ප්‍රවර්ධනයද අදාල ප්‍රමිතියෙන් යුතුව නිම කර ගැනීමට නොහැකිවේ.  එසේ වීමෙන් නිමැවුම්කරු හට තමන් බලාපොරොත්තුවන ප්‍රතිලාබ ලබාගත නොහැකිවනවාසේම බලාපොරොත්තු නොවන ආකාරයේ දෝෂ වලට මුහුණ පෑමටද සිදුවේ.

තොරතුරු  පද්ධතියක් ප්‍රවර්ධනයේදී අනුගමනය කලයුතු නිසි ක්‍රමවේදයන් හදුන්වා දෙනු ලබන සාම්ප්‍රදායික මෙන්ම නුතන ක්‍රමවේදයන් බොහොමයක් පවතී.  ඒ අතුරින් බහුලව ප්‍රචලිත වී ඇති සම්ප්‍රදායික ක්‍රමවේදයක් ලෙස ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය (SSADM ) හදුන්වාදිය හැක . ප්‍රධාන වශයෙන් ඕනැම තොරතුරු පද්ධති ප්‍රවර්ධන ක්‍රමවේදයක මෙන්ම ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදයේ ද දැකිය හැකි  මුලික ලක්ෂණ ද්විත්වයක් පවතී.

 

1.) තොරතුරු පද්ධතියක් ප්‍රවර්ධනයේදී පවතින  සංකීර්ණ බව අවම කිරීම සදහා පියවරෙන් පියවර සරල අවස්ථාවේ සිට සංකීර්ණ අවස්ථාව දක්වා ක්‍රමානුකුලව පද්ධතිය ගොඩනැංවීම (Step by Step Process).

මෙය පහදා ගැනීම සදහා ගොඩනැගිල්ලක් නිමවීමේදී අනුගමනය කරනු ලබන පියවර සලකා බැලිය හැක. මෙහිදී පළමුව ගොඩනැගිල්ල සැකසීමට සුදුසු භූමියක්  වෙන්කරගනු ලබන අතර  දෙවනුව  පිඹුරුපත් සකසනු ලබය්. ඉන් අනතුරුව පාදම සකස්කිරීමත් , අනතුරුව බිත්ති බැදීමත් සිදුකර අවසානයේ වහලය සෙවිලිකිරිම සිදුකරනු ලබය්. මේ අයුරින්ම තොරතුරු පද්ධතියක් ප්‍රවර්ධනයේදී ද මෙලෙස අදියරෙන් අදියර ක්‍රමානුකුලව ප්‍රවර්ධනය සිදුකිරීම මගින් සංකීර්ණ බව අවම කරගැනීමට හැකිවනු ඇත.

2.) ව්‍යාපෘති කලමනාකරණය පහසුවන ආකාරයේ සැකිල්ලක්(Structure) සහිත ක්‍රමවේදයක් වීම.

මෙය අදියරෙන් අදියර ක්‍රමානුකුලව ප්‍රවර්ධනය සිදුකිරීමේ ක්‍රමවේදයක් වීම හේතුවෙන් එය ව්‍යාපෘති කළමනාකරණය සැලකිය යුතු ලෙස පහසු කරවීමට දායක වේ.

SSADM ක්‍රමවේදයට අනුව පද්ධති ප්‍රවර්ධන ව්‍යාපෘතියක් මොඩියුල (Module) කිහිපයකින් සමන්විත වන අතර එම මොඩියුල තවදුරටත් අදියර(Stages), පියවර(Steps), කාර්යන්(Tasks) ලෙස කොටස් වලට බෙදා දැක්විය හැකි වේ.

SSADM ක්‍රමවේදයේ මුලික අරමුණු කිහිපයක් ප්‍රධාන වශයෙන් දැක්වියහැකි වේ.

  • ව්‍යාපෘති කළමනාකරණය පහසු කරවීම. (අදියරෙන් අදියර ප්‍රවර්දනය වන මොඩියුල පැවතීම මගින්.)
  • පුහුණු නුපුහුණු සියලුම කාර්ය මණ්ඩලයෙන් උපරිම ප්‍රයොජනය ලබා ගැනීම.  
    • එක් එක් අදියරේදී පළමුව  පුහුණු ශ්‍රමිකයින් භාවිත කර නුපුහුණු ශ්‍රමිකයින්ට අදාල කාර්යන් පුහුණු කිරීම හා පසුව ඔවුන්ගේ අධීක්ෂණය යටතේ එම එක් එක්  අදියර සදහා නවකයින්  යෙදවීමට හැකිවීම  මගින්.
  • තත්වයෙන් උසස් තොරතුරු පද්ධති ප්‍රවර්ධනය කිරීම. (අදියරෙන් අදියර ක්‍රමානුකුලව සිදුවන ප්‍රවර්ධනයක් බැවින් )
  • කාර්ය මණ්ඩලයේ අඩුවක් සිදුවුවත් ව්‍යාපෘතිය අකණ්ඩව සිදුකල හැකි වීම.
    • එක් කාල ප්‍රන්තරයකදී කාර්යමණ්ඩලය එක නිශ්චිත අදියරක  සේවය සැපයීම නිසා. එනම් එක් නිශ්චිත  කාල ප්‍රාන්තරයකදී එකිනෙකට බහිෂ්කාර නොවන අදියරයන් කිහිපයක  සේවකයන් සේවය සපයන්නේ නම් එක් අදියරක සේවය කරන්නෙකුගේ අඩුවීම අනික් අදියරයන්ගේ වැඩකටයුතු කරගෙන  යාමටද බාධාවක් විය හැකි  නමුත් මෙහිදී  එක කාල ප්‍රන්තරයකදී සිදුකෙරෙනුයේ  එක් අදියරක් පමණක් බැවින් කාර්යමණ්ඩලයේ අඩුවීම විශාල ලෙස ව්‍යාපෘතියේ ඉදිරි  ගමනට බලපෑමක් එල්ල නොකරයි.
  • ව්‍යාපෘතියේ නියුතු පිරිස අතර මනා සන්නිවේදනයක් ගොඩනැගීම හා ව්‍යාපෘති සදහා පරිගණක ආශ්‍රිත මෘදුකාංග පද්ධති භාවිතයට ගත හැකි වීම.

 

SSADM හි භාවිත වන ඉතා වැදගත් තාක්ෂණික ක්‍රම (technologies) ත්‍රිත්වයක් වේ.

 

1.) තාර්කික දත්ත මත පදනම්ව ආකෘති නිර්මාණය (Logical  Data Modeling )

මෙහිදී පද්ධතියේ පවතින ඒකක(Entities) හදුනාගෙන ඒවායේ අන්තර්ගතය නිර්ණය කිරීම හා ඒකක(Entities) අතර පවතින අන්තර් සම්බන්දතාවයන් නිරුපනය වන සේ රූසටහන් (Diagrams) නිර්මාණය  කිරීම සිදුකරනු ලබයි.

 

2.) දත්ත ප්‍රවාහ මත පදනම්ව ආකෘති නිර්මාණය (Data Flow Modeling)

 මෙහිදී පද්ධතිය තුල දත්ත හුවමාරු වන ආකාරය රූසටහන්(Diagrams) මගින් නිරුපනය කිරීම සිදු කරනු ලබයි.

 

3.) වස්තු-සිදුවීම් මත පදනම්ව ආකෘති නිර්මාණය (Entity Event Modeling)

 මෙහිදී පද්ධතිය තුල දත්ත – කාලය සමග වෙනස්වීම රූසටහන්(Diagrams) මගින් නිරුපනය  කිරීම සිදු කරනු ලබයි.

 

ඉහත දක්වනු ලැබූ කොටස් ත්‍රිත්වයම පද්ධතිය පිලිබදව වෙනස් වූ දෘෂ්ටිකෝණ 3 කින් තොරතුරු, පද්ධතිය ප්‍රවර්ධනය කරන්නන්  වෙත ලබා දෙනු ලැබේ. එය ඉතා උසස් තත්වයෙන් යුත් අවසාන නිමවුමක්කරා යාමට විශාල රුකුලක් ලෙස හැදින්විය හැකි වේ. SSADM ක්‍රමවේදය පද්ධතියක් ශක්‍යතා අධ්‍යයන මට්ටමේ සිට භෞතික සැලසුම්  නිමැවුම දක්වා සෑම අදියරක්ම එක්  අදියරකින් අනික් අදියරට ගලායනසේ නිර්මාණය වී ඇති අතර මෙය දියඇලි ආකෘතියට යම් සමානකමක් දක්වයි.

 

ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය  ප්‍රධාන පියවර 7 කින් නිරුපනය කලහැකිවේ .

  1. ශක්‍යතාව පරික්ෂා කිරීම.
  2. පවතින පරිසර තත්වයන් ගවේෂණය කිරීම.
  3. විකල්ප ව්‍යාපාර පද්ධති ගොඩනැගීම.
  4. අවශ්‍යතා නිර්වචනය කිරීම.
  5. විකල්ප තාක්ෂණික පද්ධති ගොඩනැගීම.
  6. ආර්ථික සැලසුම් නිර්මාණය කිරීම.
  7. භෞතික සැලසුම් නිර්මාණය කිරීම.

 

මීට අනුකුලව පද්ධතිය නිර්මාණය කිරීමේදී පැනනගින ගැටළු නිරාකරණය කරගැනීමට රුකුලක් වීම සදහා පද්ධති සැලසුම්කරුවන් පෙර සදහන් කරන ලද තාක්ෂණික ක්‍රම භාවිත කර රූසටහන් නිර්මාණය කරගනු ලබයි.

 

පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රය (Systems Development Life Cycle  – SDLC )

අභ්‍යන්තර හා බාහිර මුලාශ්‍ර වලින් ලබාගන්නා දත්ත උපයෝගී කරගනිමින් නිශ්චිත තීරණ ගැනීමට අවශ්‍යය වන තොරතුරු නිර්මාණය කරගැනීමේ ක්‍රමවේදයක්  තොරතුරු පද්ධති වල දක්නට ලැබේ.

තාක්ෂණික හෝ තාක්ෂණික නොවන පද්ධති හෝ  ක්‍රියාකාරකම් සාර්ථක කරගෙනීම උදෙසා මෙම පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රය ආකෘතියක් ලෙස භාවිත කරමින් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන ලබාගත හැකි අතර මෙම ක්‍රමවේදය භාවිතයෙන් ඔබගේ අපේක්ෂික ඉලක්ක කරා පහසුවෙන් ළඟාවිය හැක.

යම්කිසි ක්‍රමවේදයකට අනුකුලව පද්ධතියක් නිර්මාණය කිරීම මගින් කාර්යයන් පහසු කර ගතහැකි වන  අතර වැයවන කාලය අවම වේ. එමෙන්ම කාර්යක්ෂමව කටයුතු කරගැනීම සඳහාද උපකාරී වේ. තවද සංකීර්ණ පද්ධති නිර්මාණය කිරීමේදී ඇතිවන ව්‍යයාකුල බව අවම කිරීම සඳහාද උපකාරීවේ .

තොරතුරු පද්ධති ගොඩනැගීම සඳහා භාවිත කරනු ලබන විවිධ ක්‍රමවේයන් දැකිය හැක. මෙම ක්‍රමවේදයන් පියවර කිහිපයකින් සමන්විත වන පුනරාවර්තී ක්‍රියාදාමයකි. එනම් සමනළයාගේ ජීවන චක්‍රය මෙන් පියවර කිහිපයකින් සමන්විත වන අතර එක් පියවරක් සම්පුර්ණ කිරීමෙන් පසු ඊළඟ පියවර සිදුවේ. එක් එක් පියවර අවසනයේ ලබාගන්නා ප්‍රතිධානය (Output) ඊළඟ පියවරෙහි ප්‍රධානය (Input) බවට පත්වේ. පියවරෙන් පියවරට නිර්මාණය කරනු ලබන පද්ධතිය ක්‍රමානුකුලව ප්‍රවර්ධනයවී අවසානයේ සාර්ථක නිර්මාණයක් ලබාගත හැකිවේ .

මේ අනුව තොරතුරු පද්ධතියක්  ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිත කරනු ලබන එක්  ක්‍රමවේදයක් ලෙස පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රය (SDLC ) හැඳින්විය හැක .

පද්ධති ප්‍රවර්ධන සැලසුම් කරුවන් විසින් අදාළ පද්ධතිය පුළුල් ලෙස අධ්‍යයනය කිරීම සඳහා සමස්ත පද්ධතියම කොටස් වශයෙන් වෙන්කර අදාල කොටස් සඳහා වෙන් වෙන් වශයෙන් අවධානය යොමුකරයි.

පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රය (SDLC) පියවර හතකින් සමන්විතවේ. එක් එක් පියවරට එකිනෙකට වෙනස් කාර්යයන් පවතී. එක් පියවරකින් පසු එයට අදාල වූ ප්‍රතිදානයක් (Output) ලබාදේ. එමනිසා පද්ධතිය වෙනස් කිරීමට හෝ  වැඩිදියුණු කිරීමට අවශ්‍ය වූ විට එම පියවර නැවත  සිදුකිරීම හෝ පෙර පියවරට ගමන්කිරීම  හෝ සිදුකල හැක.

 

පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රයේ ප්‍රධාන අවධි

med

 

 

 

 

 

 

 

  1. පද්ධති හඳුනාගැනීම හෙවත් විමර්ශනය ( System Investigation)
  2. පද්ධති විශ්ලේෂණය ( System Analysis)
  3. පද්ධති සැලසුම් කිරීම ( System Design)
  4. පද්ධති සංවර්ධනය ( System Development)
  5. පද්ධති පරික්ෂාව ( System Testing)
  6. පද්ධති ක්‍රියාත්මක කිරීම ( System Implementation)
  7. පද්ධති නඩත්තුව ( System Maintenance)

 

 

  • පද්ධති හඳුනාගැනීම හෙවත් විමර්ශනය ( System Investigation)

 

සාර්ථක පද්ධතියක් නිර්මාණය කිරීමේ තීරණාත්මක පියවර ලෙස මෙය හැඳින්විය හැක. මන්ද පද්ධතියක් නිර්මාණය කිරීම හෝ පවතින පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා තීරණය ගනුලබනුයේ මෙම පියවර මගිනි . ඒ සඳහා පද්ධතිය පිළිබඳ පුර්ණ අවබෝධයක් ලබාගත යුතුවේ. එමනිසා මෙය  ප්‍රධාන අංශ දෙකක් ඔස්සේ විමර්ශනය කරනු ලැබේ .

 

 

  • මුලික විමර්ශනය ( Preliminary Investigation)

මෙහිදී ප්‍රධාන වශයෙන් පද්ධතිය හඳුනාගැනීම හා එහි පවතින ගැටලු හඳුනාගැනීම  සිදුකෙරේ. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවක් මත හෝ සමාගමේ අවශ්‍යතාවක් මත නව පද්ධතියක් නිර්මාණය කිරීමට යෝජනාවක් පැමිණි විට එම පද්ධතිය පිලිබඳ විශ්ලේෂණයක් කල යුතුය.

ප්‍රථමයෙන්ම ඒ  සඳහා පාදක වූ ගැටලුව පිලිබඳ අධ්‍යයනය කිරීම සිදුකලයුතුවේ. උදාහරණයක් වශයෙන් ස්වයංක්‍රිය මුදල් ගැනීමේ යන්ත්‍රයක්(ATM) නිර්මාණය කිරීම අවශ්‍ය වුයේ ගිණුම්හිමියාට  තම ගිණුමෙන් පහසුවෙන්, සතියේ ඕනෑම දිනක, දිනයේ ඕනෑම වෙලාවක මුදල් ගැනීමේ අවශ්‍යතාව ඇතිවූ නිසාවෙනි. මෙලෙසම මෙම ව්‍යාපෘතියෙහි / ගැටලුවෙහි විෂයපථය හා සීමාවන් පැහැදිලිව අවබෝධ කරගත යුතුවේ. එනම් ATM යන්ත්‍රයෙන් කුමන සීමාවක් දක්වා පාරිභෝගිකයන් හට සේවාවන් සැපයිය යුතුද යන්න හඳුනාගත යුතු වේ. තවද  මෙම පද්ධතිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන සම්පත් හඳුනාගැනීම, එම සම්පත් ළඟාකර ගත හැකිද  යන්න අධ්‍යයනය කලයුතුවේ.

මෙම පියවරෙහි ප්‍රතිඵලයක් ලෙස තෝරාගත් පද්ධතිය පිලිබඳ  අවසන් තීරණයක් කරා එළඹෙනු ලැබේ. එනම් අලුත්ම පද්ධතියක් නිර්මාණය කිරීම හෝ පවතින්නා වූ පද්ධතියක් දියුණු කිරීම හෝ එම පද්ධතියට කිසිදු වෙනසක් නොකර එලෙසම තැබීම යන තීරණ ගැනීම සිදුකරනු ලබයි.

 

 

  • ශක්‍යතා අධ්‍යයනය (Feasibility Study)

 

පද්ධතිය පිහිටුවීම පිලිබඳ යෝග්‍යතා පරීක්ෂණයක් සිදුකරන අතර එහිදී යෝජිත පද්ධතිය පුද්ගලයාට හෝ ආයතනයට කෙතරම් දුරට ගැලපේද යන්න පිළිබඳව විස්තරාත්මකව විමර්ශනයක් ලබා දෙයි.

මෙහිදී අදාල පද්ධතිය ප්‍රායෝගිකව නිපදවිය හැකිද යන්න, පාරිභෝගිකයාගේ අවශ්‍යතා යෝජිත පද්ධතිය මගින් සපුරනේද යන්න, යොදාගනුලබන සම්පත් කාර්යක්‍ෂමව භාවිතයට ගතහැකිද යන්න සහ පිරිවැය ඵලදායි ලෙස භාවිතයට ගතහැකිද යන්න පිලිබඳවද, පද්ධතිය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතාවයන් සමාගම සතුව පවතීද යන්නද අධ්‍යයනය කලයුතුවේ.

 

මෙහිදී පහත දැක්වෙන කරුණු පිලිබඳ සැලකිලිමත්වේ .

  • තාක්ෂණික ශක්‍යතාව –                         ( අවශ්‍යවන පරිදි මෘදුකාංග හා දෘඩාංග පවතීද යන්න )
  • ආර්ථික ශක්‍යතාව      –                          ( පිරිවැය, මුල්‍යමය ප්‍රතිලාභ මගින් පියවේද යන්න )
  • නෛතික හා සදාචාරාත්මක ශක්‍යතාව – ( පද්ධති ක්‍රියාකාරකම් සිමාවන් තුල ක්‍රියාත්මක වේද යන්න  )
  • සමාජීය ශක්‍යතාව      –                          ( මෙමගින් සමාජීය වශයෙන් ප්‍රශ්ණ ඇතිවේද යන්න )

 

 

  • පද්ධති විශ්ලේෂණය ( System Analysis)

 

ශක්‍යතා වාර්තාව පිලිබඳ ව්‍යාපෘති භාර කමිටුව විසින් නව පද්ධතියක අවශ්‍යතාව ගැන සැහීමකට පත්වුවහොත් ඒ පිළිබඳව සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමට තීරණය කරනු ලබයි. ඒ අනුව ශක්‍යතා වාර්තාව මගින් ලබාදී ඇති තොරතුරු තවදුරටත් අධ්‍යයනය කිරීම මෙහිදී සිදුකරනු ලබයි. නව පද්ධතියේ අරමුණු, ඊට අදාල විෂය කරුණු, පද්ධතියේ ක්‍රියාකාරකම්, අවශ්‍යවන භෞතික හා මානව සම්පත්, පද්ධතිය නිර්මාණය කිරීමේදී ඇතිවිය හැකි ගැටලු, පද්ධතිය දියුණු කිරීම සඳහා යෝජනා සහ පද්ධතියේ සිමාවන් පිළිබඳව විශේෂයෙන් මෙම පියවරෙන් සලකා බලනු ලබයි. තවද පද්ධතියෙහි පවතිනා වූ දුර්වලතාවන් හා එම දුර්වලතාවන්ගෙන් අත්මිදීම සඳහා විසඳුම් යෝජනා කරණු ලබයි. එසේම පද්ධති විශ්ලේෂණ ක්‍රියාවලියේදී ආයතනයේ ව්‍යුහය පිළිබඳවත්, කළමනාකරණ මට්ටට්ම් සහ මෙහෙයුම් මට්ටම්  පිළිබඳවත් විස්තරාත්මකව තොරතුරු රැස්කරගැනීම සිදු කරණු ලබයි. යෝජිත නව පද්ධතිය මගින් කළමනාකරුවන්ගේ හා පරිශීලකයන්ගේ අවශ්‍යතා සපුරාලීම මෙයට හේතුව වේ. ඒ අනුව මෙම අවධියදී දත්ත එක්රැස් කිරීම හා එම දත්ත තොරතුරු බවට පත්කිරීම තුලින් පද්ධතියේ අවශ්‍යතා විස්තරාත්මකව විමර්ෂණයකට ලක්කරනු ලබයි. මෙම පියවර අවසානයේ පද්ධතියේ අවශ්‍යතා පිලිබඳ වාර්තාවක් සහ ව්‍යාපෘතියේ විෂය පථය පිලිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබාගැනීම සිදුවේ.

 

  • පද්ධති සැලසුම් කිරීම (System Design)

පද්ධති සැලසුම් කිරීමේ පියවරේදී සිදුවන්නේ පද්ධති විශ්ලේෂණ පියවරේදී ලබාගත් වාර්තාව අනුව පද්ධතියේ අවශ්‍යතා කොටස් වලට වෙන් කිරීමයි. මෙහිදී සම්පුර්ණ පද්ධතියේ ආකෘතිය ගොඩනැගීම සිදුවේ. පද්ධති සැලසුම් කිරීම ප්‍රධාන ආකාර දෙකකින් සිදු කළ හැකිය.

 1.තාර්කික පද්ධති සැලසුම් කිරීම (Logical System Design).

මෙහිදී යෝජිත නව පද්ධතියේ දත්ත, තොරතුරු, ක්‍රියාවලින් සහ ගොනු ආදිය එකිනෙකට සම්බන්ද වන ආකාරය තාර්කික වශයෙන් ඉදිරිපත් කරයි . මේ සදහා,

  • ගැලීම් රූ සටහන් (System Flow Diagram)
  • දත්ත ප්‍රවාහ රූ සටහන්(Data Flow Diagram)   

වැනි ක්‍රමවේදයන් භාවිතා කළහැක. මෙහිදී පද්ධතිය තුල දත්ත ගලයන ආකාරය සහ බාහිර වස්තුන්, ක්‍රියාවලි සහ දත්ත අතර දත්ත ගලායන ආකාරය(Data Flow) සහ පද්ධතිය ගලායන ආකාරය(System Flow) ඉදිරිපත් කෙරේ.

2.භෞතික පද්ධති සැලසුම් කිරීම (Physical System Design).

මෙහිදී ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන සාධක කෙරෙහි වැඩි  අවධානයක් යොමු කෙරේ.

  • අතුරු මුහුණත් නිර්මාණය
  • ආදානය
  • සැකසුම
  • ප්‍රතිදානය
  • ක්‍රමලේඛනය
  • පරිශීලනය
  • ආරක්ෂාව

මෙහිදී පද්ධතිය සදහා වන පිරිවැය සහ අවශ්‍ය වන ද්‍රව්‍ය පිළිබදවද අවදානය යොමු කෙරේ. අවසානයේදී තාර්කික හා භෞතික පද්ධති සැලසුම් වලට අනුව ලබාගත් තොරතුරු විධිමත් ලෙස ලේඛණ ගත කරයි.

 

  • පද්ධති සංවර්ධනය ( System Development)

මෙම පියවරේදී පද්ධති සැලසුම් අවධියේ සැලසුම් ක්‍රමවේද වලට අනුව බෙදාගත් සම්පුර්ණ පද්ධතියේ මොඩියුල ක්‍රමලේඛකයන් අතර බෙදා දෙනු ලැබේ . ඔවුන් විසින් උචිත පරිගණක භාශාවක් යොදා ගනිමින් මෘදුකාංග පද්ධති සාදනු ලැබේ. මොඩියුල නිර්මාණයේදී දෝෂ අවම වන ආකාරයට සාදනු ලබන අතර අවසානයේදී එම සාදාගත් මොඩියුල  කලින් සාදාගත් අතුරු මුහුණත් හා සම්බන්ධ කරමින් සමස්ථ පද්ධතිය ගොඩනගනු ලැබේ. පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රයේ  (SDLC) දීර්ඝතම අවදිය ලෙස මෙය හැදින්විය හැකිය.

 

  • පද්ධති පරික්ෂාව ( System Testing)

මෙම පියවරේදී පද්ධති සංවර්ධනය පියවරේදී සාදාගත් පද්ධතිය සම්පුර්ණ පරික්ෂාවකට භාජනය කෙරේ. මෙය සිදුකරනු ලබන්නේ ස්වාධීන කණ්ඩායමක් විසින් වන අතර ඔවුන් විසින් ක්‍රම ලේඛණයේ ඇති දෝෂ විමර්ශනය කරන අතර පද්ධතිය සේවාදායකයාගේ අවශ්‍යතාවයන් ඔහු බලාපොරොත්තු වන ආකාරයට ඉටු කරඇත්දැයි යන්න පරික්ෂා කරනු ලැබේ .

පද්ධති පරික්ෂාවේදී පද්ධතිය කිහිප ආකාරයේ පරික්ෂාවන්ට යොමු කෙරේ . ඒවා නම්

  • ඒකක පරික්ෂාව (Unit Testing)

මෙහිදී  අවධානය යොමු  කරනුයේ පද්ධතියේ කුඩා ඒකක වෙතයි.එම නිසා පද්ධතියේ ඒකක/මොඩියුල වෙන වෙනම පරික්ෂාවට යොමු කෙරේ .

  • සමස්ථ පරික්ෂාව (Integrated Testing)

මෙහිදී මොඩියුල එකතු කර පරික්ෂා කරන අතර එහි අරමුණ වන්නේ පද්ධතියේ මොඩියුල එකිනෙක හා හරිආකාරව සම්බන්ද කර ඇතිදැයි බැලීමයි.

  • පද්ධති පරික්ෂාව (System Testing)

මෙහිදී සම්පුර්ණ පද්ධතියම පරික්ෂාවට ලක් කරන අතර මෙහි අරමුණ වන්නේ පද්ධතියේ සියලුම ක්‍රියාවලින් නිවැරදිද යන්න බැලීම හා සියලුම අවශ්‍යතාවයන් සපුරා ඇතිදැයි පරික්ෂා කිරීමයි.

  • ප්‍රතිග්‍රහණ පරික්ෂාව (Acceptance Testing)

මෙම පරික්ෂාව බොහෝ විට සිදු කරනු ලබන්නේ පද්ධතිය භාවිතා කරනු ලබන පුද්ගලයාගේ ස්ථානයේ (User’s Perspective) සිටයි. මෙහිදී පද්ධතියේ සැබැ හැසිරීම පරික්ෂා කෙරේ

මෙම අදියරය අවසානයේදී දෝෂ අවම තත්වයෙන් උසස් පද්ධතියක් සේවා දායකයා වෙත ලබා දීමට හැකි වේ.

 

  • පද්ධති ක්‍රියාත්මක කිරීම ( System Implementation)

මෙම අදිරයේදී සාදාගත් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. මෙහිදී සම්පුර්ණ පද්ධතියේ ක්‍රියකාරිත්වය ලේඛණ ගත කරන අතර පද්ධතිය භාවිතා කරනු ලබන ආකාරය පිළිබදව පරිශීලකයන් දැනුවත් කරන අතර නව පද්ධතිය ස්ථාපනය කරනු ලැබේ.

නිමකරගත් පද්ධතිය ස්ථාපනය කිරීම පියවර කිහිපයකින් සිදු කරනු ලැබේ. ඒම පියවර පහත දැක්වේ.

  • සෘජු ස්ථාපනය (Direct Implementation) – මෙහිදී පරණ පද්ධතිය වෙනුවට නව පද්ධතිය සම්පුර්ණයෙන් ස්ථාපනය කරයි.
  • සමාන්තර ස්ථාපනය (Parallel Implementation) – මෙහිදී භාවිත කරමින් තිබු පද්ධතිය  සහ නව පද්ධතිය  සමාන්තරව ක්‍රියාත්මක කරනු ලැබේ .
  • අදියරමය ස්ථාපනය (Phased Implementation) – මෙහිදී ආයතනයේ කොටසකට පමණක් නව පද්ධතිය ස්ථාපනය කරනු ලැබේ .
  • නියමුමය ස්ථාපනය (Pilot Implementation) – මෙහිදී නව පද්ධතියේ ස්වාධින කොටස් කමක්‍රමයෙන් ස්ථාපනය කරනු ලැබේ .

මෙම පියවරේදී පද්ධතිය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන දෘඩාංග(Hardware) ස්ථාපනය කරයි. මෙම අදියරයේදී පද්ධතියේ සාර්ථකත්වය අසාර්ථක බව තීරණය වේ .

 

  • පද්ධති නඩත්තුව ( System Maintenance)

නව පද්ධතියක් ස්ථාපනය කර භාවිතා කිරීමේදී විවිධ වූ ගැටළු පැන නැගිය හැක. මෙම  පියවරේදී එම ප්‍රශ්න නිරාකරණය කරනු ලැබේ. තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමඟ පරිගණක පද්ධති නිරතුරුවම යාවත්කාලින(Update) කිරීමට අවශ්‍ය වේ. එම කාර්යයන් සිදු කරනු ලබන්නේ මෙම අදියරේදීය .

මෙම අදියරේදී පද්ධතියට බලපාහැකි වෙනස්වීම් පද්ධති කමිටුව මගින් පරික්ෂාකර ඒවා ආයතනයේ කළමනාකාරිත්වයට ඉදිරිපත් කරනු ලැබේ. මෙහිදී නඩත්තු කමිටුව සහ ආයතනයේ කළමනාකාරිත්වය විසින් නිර්ණායක කිහිපයක් වෙත අවධානය යොමු කරයි. ඒවායින් ප්‍රධාන සාධක ලෙස

  • පද්ධතියක අරමුණු
  • කාර්යක්ෂමතාව
  • ඵලදායිතාව
  • යොදාගන්නා තාක්ෂණය
  • වැයවන පිරිවැය
  • ආරක්ෂාව
  • පද්ධතිය මගින් ලැබෙන ප්‍රතිලාභ සලකනු ලැබේ .

පද්ධතියේ යම් කිසි වෙනස්කමක් සිදුකිරීමට අවශ්‍ය නම් ඉහත කරුණු වල වෙනස්වීම් සලකා බලා සිදු කළ යුතුය .මේ අයුරින්  පද්ධති ප්‍රවර්ධන ජිවන චක්‍රයේ ප්‍රධාන අවධි සවිස්තරාත්මකව ගොනුකොට දැක්විය හැකි වේ. 

මෙම 11 වන ඒකකය යටතේ සවිස්තරාත්මකව ඉදිරිපත්කළ පද්ධති පිළිබඳව වූ ලිපි පෙළ මෙමෙතැනින් අවසාන වන අතර විෂය නිර්දේශයේ ඇති තවත් ඒකකයක් සමගින් ඔබ වෙත කරුණු ගෙනහැරපෑමට බලපොරිත්තු වෙන්නෙමු.

Comments
  1. Vidusha
    • nimesh
  2. Sampath
  3. Chanuka
  4. manoshika
  5. 145001G ABEYKOON A.B.M.C.M.
  6. Deshani gareth
  7. L.P.C Dilshani
  8. Nuwanthi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.